Header image

  අද දවස පටන් ගත්තේම හරහට. 



 තාම පටන් ගත්තා විතරයි ඒ උනාට මගෙ හිතට මොකක්දෝ එකක් දැනෙනවා. 

කොහෙ හරි හරි ඉන්න කාට හරි අපේ දවස මෙහෙම වෙනස් කරන්න පුළුවන්.....

   එකක් සමහරවිට මම ඊයේ හදිස්සියෙන්ම හිතලා යන්න දාගෙන හිටපු week end  tour එක අහෝසි වීම හින්ද මම ටිකක් නොරිසි වුනා. (මේ දවස් වල මට භැම දේකින්ම ඈත් වෙලා ඉන්න ඕනේ වගේ.) සතියේ වැඩ කරන දවස් වලට මේක කරන්න මට හැකියාවක් නෑ දැන්.

  අන්තිමට ඊයේ රෑ නිදාගන්න ගියෙත් අවුලෙන්. මොනවා හෝ අස්සේ මම සන්සුන් වෙලා හිටියේ නෑ.

   අද උදේ ඇඳෙ ඉඳන්ම ඊමේල් මැසේජස් දකිනකොට එක මැසේජ් එකක් තිබ්බා ඩොකියුමන්ට් එකක් ගන්න අද දවල් එන්න පුළුවන් කියලා. ඒත් පේමන්ට්ස් ගැනවත් මොකුත් අහලා තිබ්බෙ නෑ.

       ( මේ ක්ලයන් මට මීට සති දෙකකට විතර කලින් කතා කරලා දැන් ඩොකියුමන්ට්ස් ගෙනත් දෙන්න පුළුවන් අහවල් වැඩේට කීවෙ හරියටම ඔබා නැති වෙච්ච දවසේ. එදා මම හිටපු මූඩ් එක අනුව මට වැඩ කරන්න උවවනාවක් තියා කිසිම දෙයක් තිබ්බෙ නෑ. ඉතින් මම මට අද නම් බෑ කීවම මෙයා කලේ ඊමේල් එකකින් ඩොකියුමන්ට් එවපු එක. ඒකත් කමක් නෑ කියමුකෝ. ඊට පස්සේ මම ඒ ඔෆීස් එකට ගිහින් ඒ ඩොකියුමන්ට් එකත් අරගත්තා. ඒ වෙලාවෙම අනිත් පැත්තට කෝල් එකක් දීලා මම ඒ ඩොකියුමන්ට්ස් ගත්තා ඇවිත් අරන් යන්න කියලත් කීවා. ඒ වෙලේම මම එයාට කීවා මේක හිතවත්කමක් මත වෙච්ච රාජකාරියක් නිසා ඒ වැඩේ කරපු කෙනාට ගිෆ්ට් එකක් දෙමු කියලා. මොකද අපි වගේ වැඩ කරන මිනිස්සු බොහෝ වෙලාවට යම්කිසි දේවල් කරන්නේ අපේ හිතවත්කම් උඩ. ඊට අමතරව ඉතින් ඒක මගෙත් රාජකාරියක් නේ. (මම පිං වලට සමාන වෙන්න වැඩ කරන්නේ නෑ.... හික්ස්...) (මම වෙනම චැරිටි කරනවා government welfare.  ඒ හොඳටම ඇති.)

  ඉතින් එයා ඔය කියන සිදුවීම වෙලා දවස් ගාණක් ගියත් මට කතා කලේ නෑ. ඩොකියුමන්ට් එක ගන්න ආවෙත් නෑ. අඟහරුවාදාද කොහෙද මට sms එකක් එවලා තිබ්බා එයාගේ ඩොකියුමන්ට්ස් ගැනයි එයාගේ පෞද්ගලික ජීවිතේ ගැනයි වෙන කාටද කියන්න එපා කියලා. ඒක නිකම් කියලා තිබ්බ විදියට මට මගෙ රතු කට්ටේ එහාම කෙලවරටත් ටිකක් එහාට ගියා.  (කොටින්ම මෙහෙ ඉන්න ලංකාවේ මිනිස්සු එක්ක මට තියෙන්නේ කෘතීම සමබන්දයක්. ඒක මම කලිනුත් කීවා. යාළුවෙක් කියලා හිතන්න හැදුවත් ඒ අය එහෙම දේකට සපෝට් එකක් දෙන්නෙ නෑ. මට යාළුවෙක් කියන්නෙ මගේ දුකට සැපට හැමදේටම ඉන්න මිනිස්සු. (මේක මගෙ පැත්තෙන් ඕනෙවටත් වඩා වෙන දෙයක් හින්දා මම ඒ විදියටම නොවුනත් අඩු තරමේ අපේ දුකක් කඳුලක් බෙදාගන්න එක හරි බොහොම අගේ කරනවා මගෙ යාළුවන්ගෙන්.) එහෙම නොවුනම ඉතින් ඒක යාළුකමක් වෙන්න බෑ නේ.
    ඉතින් මම ඒකට රිප්ලයි කලේම හොඳටම තරහින්. අඩු ගානේ මේ අය කාටද මේවගේ දේවල් කියන්නේ කියලාවත් හිතන්න එපැයි? කොටින්ම වචන කිහිපයකින් වෙඩි වගේ.... ඒකට ආවේ බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් උත්තරයක් එක්ක සමාව වගේ එකක් ඉල්ලලා. එයිට වඩා දෙයක් ප්‍රෙටෙන්ඩ් වෙන්න බැරි නිසා ඕකේ කියලා එතනින් කතාව ඉවර වුනා.

     ඒත් මෙයාට අර මම කරපු document වැඩේ ගැන අහන්න මතක තිබුනේ නෑ. මට ඒකට කීයක් වියදම් වුනාද ඒකට ස්තුතියි කියන්නවත්. කොටින්ම මම ලංකාවේ මිනිසුන්ට වැඩ කරන්න කැමති නැත්තේ ඕක තමයි. ඊට පස්සේ අර පොලට ගිහින් වගේ අනේ ගාන අඩු කරන්න වගේ මෝඩ කතා. අපි කෙනෙකුට මුදලක් කියන්නේ අපි කරන රස්සාවත් එක්කනේ. අපේ තියන professional value  එකත් එක්කනේ. ඊට අමතරව ඕක යාළුවෙක් වගේ වුනාම නිකන්ම කරන අවස්ථාත් සාධාරන මුදලක් අය කරන්නත් අපි හුරු වෙනවා.  ඔය වගේ බොහෝ දේවල් නිසා මම කොටින්ම ලංකාවේ අය එක්ක වැඩ කරන්න කැමති නෑ. ඊටත් වඩා වැඩ කලත් ඒක official සම්බන්දතා විතරමයි. කොහොමත් මේ ලංකාවේ මිනිස්සු යාළුවෝ වෙන්නේ නෑ. තමන්ගේ වැඩේ කර ගන්න දෙවියෝ අතේ ගෙනත් දීලා අන්තිමට ඔක්කොම අපිට ගේම් දෙන්නමයි ඉන්නේ. මට ඔය වගේ දේවල් හින්දා මගේ හොඳම යාළුවෙක් වෙලා හිටි කෙනෙක්ගේ මල්ලිත් සල්ලි දුන්නේ නෑ. කොටින්ම ඒ මනුස්සයා මගෙන් visa document  එක ගන්න දවසෙත් කීවේ මට සල්ලි හම්බ වෙච්ච ගමන්ම දෙන්නම් කියලා. ඒත් කවදාවත් ඒ දවස ආවෙ නෑ. ඩොකියුමන්ට් එක දුන්නට පස්සේ මම නැට්ට අල්ලන්න්යැ. එතනින් එහාට මම කතා කලේ නෑ ඒ ගැන. ඒත් එකක් ඉගෙනගත්ත තමන්ගේ රටේ , තමන්ගෙ යාලුවෝ අරවා මේවා කියලා පිණට හෝ ණයට වැඩ කරන්න හොඳ නෑ කියලා.  කොටින්ම මම දැන් ඩොකියුමන්ට් එකක් කාගේ හරි අතට දෙන්නේ ෆුල් පේමන්ට් එක ගෙවුනොත් විතරමයි.

    අර ඉහත කියපු උදේ ආව මැසෙජ් එකට ඉතින් මම උත්තර දුන්නේ හරි සල්ලිත් ගේන්න. ( කියපු හේතුව තේරෙනවානේ.) අනිත් පැත්තෙන් හරි, කීයක්ද? මෙහෙන් මම 200ක්...... අනිත් පැත්තෙන් දෙවියනේ එච්චර ගාණක්? මෙහෙන් මම හරි. ඔයා ගිහින් කරගන්න. ආපහු අනිත් පැත්තෙන් කලින් පාර ඔයා මට ඒක කලේ 50නේ.............  එතනින් එහාට මම ටෙක්ස්ට් කලේ නෑ....
   මොනවා කියන්නද නේද? අන්තිමට යාළුකම වගේ එකකින් එහෙම කියනකොට....... හික්ස්....   කොටින්ම මෙයාගේ  වීසා ඇප්ලිකේශන් දාන්න විතරමයි මම චාජ් කලේ. එයාගේ ඒ කාලේ ඒ පේපර්ස් තිබ්බ නිසා මම ඉතිරි දේවල් කරලා දුන්නේ ෆ්‍රී ඔෆ් චාජ්. ටිකක් උගත් වැදගත් පාටට හිටියම අපිත් ඉතින් ලංකාවේ  කෙනෙක්නේ කියලා ඉබේම හිතලා ඔහොම විශේශ දේවල් කරනවානේ. කවුද හිතන්නේ ඒ වගේ අයත් අන්තිමට මෙහෙමයි කියලා.....!

    බුරු බබෝ දැන්වත් හැදියන් කියලා  කණට ගහලා උදේ පාන්දර මමම මට කීවා.

  අපි කරන දේවල අගයක් නොතියෙන මිනිසුන්ට ඒ දේවල් කරන එක මහා පාපයක්. බොහෝ අයට මේ දේවල්/ සේවා සපයා ගන්නත් ඕනේ. ඒත් කරගන්න ඕනේ හිතවත්කමට. අපි රස්සාවක් කරන්නෙ ආසාවට ජීවත් වෙන්න නෙමෙයි වගේ...... මට ඒ මනුස්සයාට ඒ පේපර්ස් නොදී හිටියා කියලා පාඩුවක් වෙන්නේ නෑ. මගේ පැය කිහිපයක( උදේ වරු 2ක් )කාලේ නාස්ති වුනා. මගේ හිතවතෙක්ගෙන් උදව්වක් ගත්තා. ඒ මනුස්සයාට වයින් බෝතල් කිහිපයක් මගේ සල්ලි වලින් ගිහින් දෙනවා ඒක වෙනම එකක්. ඒත් ආපහු ඒ ගැන ඩිස්කස් කරන්න මට උවමනාවක් නෑ.... 
      
      කොටින්ම හැමෝම මෙහෙම නෑ ලංකාවේ වුනත්. මගේ සමහර ක්ලයන්ලා මම ගාවට එන්නේ මම ඕනේ එකක් කරලා කීයක් කිව්වත් ගෙවන්න බලාගෙන. ඒ මිනිසුන්ට ඕනේ reliable  සර්විස් එකක්. (කොහොමත් මම මගේ කස්ටමර්ස්ලාට දෙන සේවාවක් ඒක.)  (කොටින්ම මගේ ක්ලයන්ට් කෙනෙක් වුනාම ඒ අයගේ immigration ප්‍රශ්න ඉබේම මගේ ප්‍රශ්නත් වෙනවා .)  බොහොමයක් අය මගෙන් සේවා ලබා ගන්න එන්නේ ඒවා හින්දමයි. සමහර අය වීසා එක අරන් ලංකාවෙන් එද්දි මට මොනවද ගේන්න ඕනේ කියලත් අහලා මම මොකුත් නෑ කීවම අනේ එහෙනම් මිස්ගේ මොනා හරි පාර්සල් තියෙනවා නම් යාළුවන්ට කියන්න කිලෝ දහයක් වුනත් කමක් නෑ ගෙනත් දෙන්න කියලා කියන අයත් මට ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ ළඟදි දවසක අවුරුද්දක් විතර මහන්සි වෙලා disable  ළමෙක් ඉන්න පවුලක් මෙහෙට ගන්න ඩොකියුමන්ට් හදලා එයාලා මෙහේ ආවම ඒ අයගේ ආර්ථික ප්‍රශ්න මත වෙල්ෆෙයා හදලා දෙන්න දාලා මෙඩිකල් ජජ්මන්ට් එකට මම ගිය දවසේ එයාලා මට සල්ලි දුන්නම මම හිනා වෙලා රිජෙක්ට් කරාම ඒ අය කීවේ ඔයා කෝපි එකක්වත් බීවේ නෑ. අද දවසේ ඔයා වෙන කොහෙවත් වැඩ කලේත් නෑ නේ සල්ලි ගන්නැති එක අපිට අපහසුවක් කියලා. ඒත් ඒ මිනිසුන්ගේ අහිංසකකම ඉදිරියේ මම එයිට වඩා දෙයක් වුනත් කරන බව මම දන්න හින්දා මම හිනා වෙලා ගෙදර ආවා.  ඒ විතරක් නෙමෙයි මේ දවස් වල මම වැඩ කරන සිස්ටම් එක අවුල් වුනා මේ මළගෙවල් අරවා මේවා හින්දා. එක දවසක් මේ අඟරුවාදද කොහෙද මගේ ක්ලයන් කෙනෙක් දවල් කතා කරලා ඔයා හවසට ගෙදර ඉන්නවද මම හවස ඔහේ එන්න ඉන්නේ කියලා මම දුවන්න යනවා රෑ වෙලා ගෙදර එන්නේ කීවම අනේ මම මේ ආප්ප හදන්න ලෑස්ති කරලා තියෙන්නේ ඔයාට ගේන්න කීවම දුවවට මගේ ආප්ප ආසාව මතක් වෙලා මම ගෙදර ඉන්නම් කීවා.  මගේ ඉටෑලියන් යාළුවෙක් තමයි එයාට කියලා තියෙන්නේ බුරු බබා ලංකාවේ කෑම කන්න ආසා වුනාට හදා ගන්න දන්න කෙනෙක් නෙමෙයි. මේ දවස් වල මම දුකින් ඉන්නේ කියල මොකක් හරි කතාවකදි.  ඒ ගර්ල්  ආප්ප ගෙනාවම ඇත්තටම මට දුකත් හිතුනා. බොහොම අමාරුවෙන් මහන්සිවෙලා රස්සාවක් කරලා ගෙදර ගිහින් ආපහු මම වෙනුවෙන් මහන්සි වෙලා ආප්පත් හදලා. ( ආප්ප දැක්කොත් ඉතින් බුරු බබා ඕනේ දෙයක් කරයි..... හා හා හා...... )  ඒ වගේ මිනිස්සුත් මෙහේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඕනෙම ජොබ් කන්ට්‍රැක් එකක් සයින් කරන්න කලින්, හවුසින් කන්ට්‍රැක් එකක් සයින් කරලා අපිට මේක අපේ කන්සල්ටන්ට් පෙන්වලා මිසක් අත්සන් කරන්න බෑ කියලා    මට පෙන්වලා මිසක් කිසිම දෙයක් නොකරන මිනිස්සුත් ඕනෙ තරම්.
 

  සමහරු අපිව අවුල් ක්ශණයකින් අවුල් කරනවා වගේම සමහරු බොහොම හිතවත්ව ආදරෙන් අපේ හිත සනසනවා.........


 බලාගෙන ගියාම ලෝකෙ කොහෙත් එක එක විදිහේ මිනිස්සු.........



  
  
    දවස තිස්සෙම කොම්පියුටර් වලට ඔළුව ඔබාගෙන ඉන්න හින්දයි අපි පුටු වලට විතරක් සීමා වෙච්ච රස්සා කරන හින්දයි මම ලෙඩ වුනාට පස්සේ මම ස්පෝර්ට් කරන්න යනකොට සිය කැමැත්තෙන්ම මාත් එක්ක එකතු වෙච්ච කෙනෙක් තමයි මරියා ආන්ජෙලා.  කොහොමත් ඉතින් දන්න කියන කාලේ ඉඳන්ම අපි  යන බාර් එක තියෙන එයාගේ ඔෆීස් එක කිට්ටුව හින්දා කෝපි එකක් බොන්න යමින් ගමන් එයාටත් කතා කරන්න මම පුරුදු වෙලා හිටියේ. එයා මගේ පේ සීට්, ටැක්ස් ෆෝම්, අරවා මේවා හැටහුට හමාරක් දේවල් කරලා දෙන මගේ බිස්නස් ඇඩ්වයිසර්.
 
    මම වගේ නෙමෙයි මරියා ආන්ජෙලා මිනිස්සු එක්ක කතා කරනවා. අනික ඉතින් මේ පැත්තේ ඉන්න ෆේමස්ම කන්සල්ටන්ට් කෙනෙක් වෙන එයාව නොදන්න කෙනෙකුත් නෑ වගේ. ඒ වුනාට මට නම් ඒක පේන්න බෑ. මම අරයාටයි මෙයාටයි හැම එකාටමයි කතා කරන කෙනෙක් නෙමෙයි. ඒ වුනාට ඉතින් මේ පැත්තේ හැමෝම මාවත් දන්න හින්දා ලාවට බටර් හිනාවක් දාගෙන යන එක නම් පුරුද්දට වෙනවා. ඊටත් වැඩි ඉතින් අඳුණන ලස්සන කොල්ලෙක් හෙම හමු වුනාම.  කොහොමත් අපි යන හැම කෝපි කඩේ කොල්ලම දන්නවා මූණ දැක්ක ගමන් වෙලාව අනුව අපි මොනවද බොන්නෙ කියන එක.

   බොහෝ වෙලාවට මම ඔය කාබනික පොහොර බලින් හදපු එළවළු පස්සේ යන කෙනෙක් හින්දා නතර වෙලා පොඩි ශොපින් පාරකුත් දාන්න අපි පෙළඹෙනවා. ඇත්තෙන්ම දැන් ඕක මාකටින් ට්‍රික් එකක් වෙලා. Bio කීව ගමන් අපි උඩ පැන ගෙන ලොකු ගණන් දීලා ඕන කුණු ගොඩාක් ගන්න හින්දා ඔක්කොම දැන් BIO.
                                                 ( මෙතනින්.)
    

       මේ වගේ වෙලාවක තමයි මරියා ආන්ජෙලා මට ඇයව පෙන්නන්නේ. වයස හැත්තෑපහක විතර ආච්චි කෙනෙක් අපේ ගෙවල් ළඟ පාරේ සුමානයකට දවස් කීපයක් එළවළු බෑග් තියාගෙන ඉන්නවා දැක්කට මම කවදාවත් නතර වෙලා ඇය එක්ක කතා කරලා තිබ්බේ නෑ. ගිය සුමානේ දවසක ඇය මහ අව්වේ අපි දෙන්නා යන බාර් එක ඉස්සරහා අර එළවලු මළු තියන් ඉන්නවා දැක්කම මරියා ආන්ජෙලා බලෙන් වගේ මටත් එයාගෙන් එළවළු ගන්න කියලා කීවා. එවෙලේ ඉතින් මම ඇහුවේ මේවා ඔයාම වගා කරන ඒවද කියලා විතරමයි එළවළු අරන් අපි එතනින් ආවා. එදා ග්‍රීන් පීස් කරල් බෑග් දෙකකුයි තව මොනවද මොනවදයි අරගෙන මම ගෙදර ගෙනාවේ නම් ග්‍රීන් පීස් විතරමයි. මගේ ආසම කෑමක් හින්දා. පස්සේ මට මරියා ආන්ජෙලා තමයි කීවේ බලපන් ඒවා ඇත්තම කාබනික් එළවළු. ඔය මනුස්සයා ජීවත් වෙන්නේ 400€ පෙන්සන් එකකින්. ඒ විතරක් නෙමෙයි පුතාගෙද දුවගෙද ළමයි තුන් දෙනෙකුත් ස්කෝලෙත් යවනවා. ඒ අඩුපාඩු හින්දා තමයි ඔය කීයක් හරි හොයා ගන්න හදන්නේ කියලා. කොහොම කරනවද මන්දා කියලා ඉතින් අපේ ටොපික් එක ආණ්ඩුවයි පොලිටිකුයි වයසට ගියාම අසරණ වෙන මිනිස්සුයි දිහාවේ දිගට ඇදිලා ගියා.
 
  මෙහේ අන්තිමකාලේ බින්දුවේ ඉඳන් ටැක්ස්, ආදයාම වාර්තා, විතරක් නෙමෙයි හැම මඟුලම ෆිනෑන්ස් එකෙන් චෙක් කරනවා දැන්. එක අතකින් ඒක හොඳයි. ආන්ඩුවේ බදු අරවා මේවා අහස උසට ඉහල යවලා රට වැටිලා තියෙන ආර්ථික අවපාතයෙන් උඩට ගන්න කියලා අපි ගන්න හුස්ම ටිකටත් දැන් ටැක්ස් ගහනවාද කොහෙද. ඒ උනාට අර හොරු සෙට් එක වෙනදා වගේම හීන් නූලෙන් වැඩේ ඇදන් යනවා. නැති බැරි අපි වගේ එවුන් තමයි බින්දුවේ ඉඳන් හැම මඟුලම බයටම ගෙවලා දාන්නේ.

    ආච්චිවත් ෆිනෑන්ස් එකෙන් චෙක් කරලා. ඉතින් ආච්චි කියලා මට වෙන කරන්න දෙයක් නෑ. මට හිඟාකන්න බෑ. මේ වගේ තත්වෙක ඉන්න මම වෙන මොනවා කරන්නද ඇහුවම ෆිනෑන්ස් එකේ එවුන් හිනා වෙලා යන්න ගිහින්. ඇත්තෙන්ම ඇයට දඩ ගහන්න හිත හදාගන්න කාටවත් බෑ. ඒ තරමට ඇය අව්‍යාජයි. ඒත් ඉතින් සිටි පොලිස් බාප්පලා ආච්චිට කියල එයාලා අනිත් ඉල්ලීගල් අයව (බොහෝ විට විදේශික වෙලෙන්දෝ) යවපු හින්දා ආච්චිටත් වෙන තැනකට යන්න කියලා.

    ඊයේ මෙහේ හරියට වැස්ස. ක්ලයන් කෙනෙක්ගේ හදිස්සි වැඩක් තිබ්බ නිසා අවුට් ස්ටේසන් ගිය මටත් වැස්ස මදි නොවෙන්නම සැලකුවා. ඇඳන් හිටපු කලිසම දනහිසටත් උඩට එනකම් වතුරෙන් පිරුනා. සපත්තු ගැන මොන කතාද? (අපරාදේ මගේ අළුත්ම අළුත් කළු lumberjack   සපත්තු දෙක.) තව සුමානෙකටවත් වේලෙන එකක් නෑ. ජැකට් එකත් මඩ වලින් පිරිලා අන්තිමට ඕන මඟුලක් කියලා වෙලාසනින්ම ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරන් ජොගින් යනකොට මෙන්න ආයේ ආච්චි ඉන්නවා පාරේ. අපි දෙන්නව දැකපු ගමන් ආච්චි හිනා වෙලා අද නම් හරි අමාරුවෙන් ඉන්නේ කකුල් සීතල වෙලා කියලා කීවම ඇත්තටම ඊයේ තිබ්බ සීතල එක්ක අනේහ් කියවුනෙ ඉබේමයි. ඊයේ වැස්ස හින්දා ආච්චිගේ බඩු විකිනිලාත් නෑ. අනික ඉතින් එයාව නොදන්න කෙනෙක් එයාගෙන් බඩු ගන්නෙත් නෑ. මේවා සාමාන්‍ය වෙලෙඳපොලේ ගාණට වඩා මිලෙන් අධිකයි.

           ඒ උනාට ඉතින් ආච්චිගේ කතාව අහපුවම මට නම් එළවළු සල්ලි දීලවත් ගන්න හිතෙන්නේ නෑ.  අර තරම් වයසට ගිහිනුත් 100% ක් ආබාධිත පුතෙක්වත් බලාගෙන තම්න්ගෙ මිනිපිරියෝ තුන්දෙනෙක්වත් ජීවත් කරවන්නේ මේ ආච්චි.  ආබාධිත පුතාට ගෙවන්නෙත් බොහෝම පොඩි පෙන්සන් එකක් ආන්ඩුවෙන්. ඒක වෙනස් කරලා දෙන්න කියලා මරියා ආන්ජෙලා මට පවරලා තියෙන්නේ. අනික ඉතින් වෙල්ෆෙයා කියලා අපෙන් සේවා ගන්න බොහොමයක් අයට යමක් කමක් කලහැකි අය. ඒ මිනිසුන්ට කරනවට වඩා මේ වගේ අසරණ කෙනෙකුට පිහිට වෙන්න පුළුවන් නම් ඒක කරන්න මාත් කොහොමත් කැමතියි.

         ඊයේ දවල් ආච්චි හම්බ උනේත් දුවන්න යනකොට හින්දා එවෙලේ මම ගාව තිබුනේම 3€යි. ඒකත් කෝපි වලට ගෙවන්න තියන් හිටපු සල්ලි. ආච්චි සීතලේ වෙවුලනවා. මට එකපාරට මතක්වුනේ මේ හරියේ අතේ සල්ලි නැති වුනත් ආච්චිට කෑම වේලක් අරන් දෙන්න නම් මට හැකියාව තියෙනවා කියලා. ඒත් එයාට අපේ බාර් එකෙන් සැන්ඩ්විච් එකක් දීලා එයා ඒක කාල හින්දා කෑම එපා කීවා. අන්තිමට ලැජ්ජාවෙන් උනත් ආච්චිට මම කීව මම දුවන්න යන ගමන් හින්දා සල්ලි අරන් ආවේ නෑ මේ 3€ තියාගන්න කියලා.
   ආච්චි එක පාරට මගේ සල්ලි ගත්තේ නෑ. උඹ එළවළු ගන්නේ නැද්ද එහෙම නැතිව මට සල්ලි එපා කියලා බොහොම අසරණ විදියට මම දිහා බැලුවා. ඇත්තෙන්ම ඊට කලින් දවසේ මම පොලට ගිහින් එළවළුයි පළතුරුයි ගනිපු නිසා මට එළවළු උවමනාවක් තිබ්බේ නෑ. මම ඒක කිවුවාම ආච්චි සල්ලි ගත්තා වුනාට බොහොම නිහතමානි ස්වෞත්සාහයෙන් අදටත් ජීවත්වෙන්න හදන එයා කැමැත්තෙන් නම් නෙමෙයි ඒක කලේ. එවෙලේ මරියා ආන්ජෙලා ආපහු මටත් එක්ක වෙනම ගෙවලා ග්‍රීන් පීස් කරල් බෑග් දෙකක්ම අරගෙන අපි එතනින් අපෙ ගමන ගියා.
 
        යමින් ගමන් අපි කතා වුනේ අපිටත් වයසට ගියාම එහෙම උනොත් මොනවා හිතෙයිද කියලා.  අද කාලේ දරුවෝ හදලා දුක්මහන්සි වෙලා ඒ අයව ලොකු මිනිස්සු කරලා පස්සේ කාලෙක වයසට ගියාම මිසරි පෙන්සන් එකක් අරන් ඒ අයවත් ජීවත් කරවන්න උනොත් අපිට කොහොම වෙයිද වගේ දේවල් ඔස්සේ අපි දිගින් දිගටම කතා වුනා. විශේශයෙන් ලංකාව වගේ රටක මිනිස්සු තාමත් හිතන්නේ වයසට ගියාම දරුවෝ සලකයි කියලා. මම එහෙම කියන්නේ මගෙන් ගොඩක් අය බඳින්නේ නැද්ද අහපුවම මම නෑ කියපුවම ඊළඟට එයාලා මගෙන් අහන්නේ වයසට ගියාම කවුද ඔයාව බලාගන්නේ කියලයි. (මේකට ඉතින් හිනාවෙලා හිටියාට වයසට ගියාම කාගෙන්වත් ජීවත් වෙන්න අදහසක් මට නෑ.) ඒත් ඔය මානසිකත්වයේ ඉන්න බොහෝ අය ඉන්නවා.
   
     ආච්චි ආපහු අඟරුවාදාටත් මට හමුවෙයි. වෙනදා විදියටම එයා අපි එක්ක හිනා වෙයි. ඒ වුනාට මට එයා දිහා බලල අඬන්න මිසක් හිනා වෙන්න පුළුවන්කමක් නෑ. ඊයෙත් වුනේ ඒක තමයි. අන්තිමට දවල්ට කාපු ඒවත් හිර වුනා වගේ උනා ආච්චිගේ කතා අහලා.
 

  රටක් විදියට වඩියම පෙන්සන් ගන්න මිනිස්සු ඉන්නේ මම ජීවත්වෙන රටේ වෙන්න ඕනේ. මෙහේ අවුරුදු 20ක් 25ක් වැඩ කරපු මිනිස්සු ඒ හා සමාන හෝ ඊටත් වඩා කාලයක් පෙන්සන් එක ගන්නවා. බොහෝ විට මෙහේ වයසක අය මිය යන්නේ අවුරුදු අනූවෙන් විතර එහා. කොටින්ම අපි ගෙවන බදු වලින් ආණ්ඩුව වයසක අයගේ පෙන්සන් ගෙවනවා. මම පෞද්ගලිකව දන්න සමහර බොහෝ අය මාසෙකට 5000€ ක් 6000€ අතර ගාණක පෙන්සන් ගන්නවා. හිටපු සොල්දාදුවෝ වගේ අයට අනිවාර්යෙන්ම 2000€ක් විතර අඩුම ගෙවන්නේ. අවුරුදු 65න් වැඩි උනාම බෙහෙත් වලටවත් සල්ලි ගෙවන්නෙත් නෑ. කොටින්ම වයසක මිනිස්සු අපි හම්බ කරන සල්ලි වලින් බොහොම සැපට ජීවත් වෙවී අද කාලේ ඉන්න තරුණ පරපුරට බැන බැන ඉන්නවා. මොකද අද වෙනකොට මා ඉන්න රටේ තරුණ පරපුරෙන් ළමයි හදන්නේ සීමිත පිරිසක්. මෙහේ ළමයි හදන්නේ බොහොමයක් පිට රටවලින් මේ රටට සංක්‍රමණය වෙන මිනිසුන්. ඒ මිනිසුන්ට අඩු ආදායම් කිය කියා ආන්ඩුවත් ඒ අයට සෞඛ්‍ය පහසුකම් හා බොහෝ අත්‍යාවශ්‍ය සේවා නොමිලයේම වගේ සපයනවා. වෙන එකක් තියා මෙහේ සමහර ස්කෝලවල ප්‍රාථමික පංතිවලට ඉන්න ළමයි ඔක්කොම ෆොරිනර්ස්ලාගේ. හෙට අනිද්දාට මෙහෙත් ඉටෑලියන්ස්ලා කියලා ඉතිරි වෙන්නේ සංක්‍රමිණිකයන්ගේ දරුවෝ විතරම වෙයි.
 
      

 කොටින්ම මම ඔය උඩ කියපු හේතු එක්ක තරහයි. හේතුව මට කිසිම සහනයක් ආණ්ඩුවෙන් දෙන්නේ නෑ. එකක් මම සින්ගල්. කලින් මම ඉන් ඇබිලිටි වෙලා ඉන්න කාලෙවත් ගෙව්වේ නෑ. හේතුව වෙන වෙනම පලාත් වල ජීවත් වුනත් මම නීතියෙන් විවාහක නිසා. ඒ අය කිව්වේ ඒමිගේ සැලරි මැනේජ්මන්ට් ලෙවල් හින්දා මට ඒ දීමනා වලට අයිතියක් නෑ කියලා. අපි වෙන වෙනම නිවාස වල ජීවත් වෙන බවත් අඩුම තරමේ අපි එක පලාතකවත් ජීවත් නොවෙනබව කීවත් ඒවා නීතියට වැදගත් වුනේ නෑ. කොටින්ම නිදහස් ජීවිතේකට හුරු වෙලා හිටි මට ඒ කාලවල ලොකු ප්‍රශ්නවලට මුහුන දෙන්න වුනා. ගෙවල් කුලී ගෙවා ගන්න බිල් ටික ගෙවා ගන්න වගේ සෞඛ්‍ය පහසුකම් වගේ දේවලට මට ලොකු මුදලක් ගෙවාගන්න වුනා.  අපිට වඩා වැටුප් ගත්ත බෝහෝ අය බදු තියා කිසිම දෙයක් ගෙවන්න නොවී නිදහස් වෙන්නත් ඒ විතරක් නෙමෙයි ආන්ඩුවේ දීමනා ඔක්කොම ලබා ගන්නත් මම වගේ අය අන්තිම සතේටත් හැමදේටම ගෙවන්නත් වුනා.
  
     දැන් මේ වෙද්දි මම අවුරුද්දකට ටැක්ස් හා බදු වගේ දේවල් වලට 8600€ හා ඊට වැඩි ප්‍රමාණයක් ගෙවනවා. මීට අමතරව මම ලිඛිතව උපයන හැම සතයකටම 21% ක් ආණ්ඩුවට ගෙවනවා. කුලියට ගත්ත ගෙයක් වුනත් කුණු බිලේ ඉඳන් හැම බද්දම වෙනම ගෙවනවා. නිවාස බදුත් ගෙවනවා.

 මේ ඔක්කොම ගෙවලත් මගේ ටැක්ස් රිපෝට් එකේ සතයක්වත් අඩු කරගන්න බෑ. ඇයි මම සින්ගල්. මගෙන් ජීවත් වෙන විරකියාවෙන් පෙළෙන කවුරුවත් නෑ. ඒ විතරක් නෙමෙයි බැරි වෙලා හරි බ්ලැක් මනි රිපෝට් උනොත් මම ලොකු දඩයකුත් ගෙවන්න ඕනේ. මේ දවස් වල රටේ තියෙන ආර්ථික අවුල් නිසා බින්දුවේ ඉඳන් චෙක් කරනවා. (ඒ වෙලාවට මට හිතෙන්නේ අඩු ගානේ උවමනාවට නෙමෙයි ළමයි දහයක්වත් හදාගන්න. )
      ආ මේ රටේ හැම එකෙක්ම තම්න්ගෙ පෙන්සන් එකට මුදල් තැන්පත් කරන්න ඕනේ. (සේවකයෙක් නම් ඒ ඒ අයගේ ස්වාමිදායකයෝ ගෙවනවා මේ මුදල.) ඒ ගෙවන මුදල කාලය තනතුර අනුව තමයි පෙන්සන් එක තීරණය් වුනේ. ඒත් ගිය අවුරුද්දේ ඉඳන් අපේ පෙන්සන් යන වයස 55 ඉඳන් අවුරුදු 65 කලා.65 ටත් අවුරුදු 35ක විතර ඉන්ප්ස් ගෙවලා තියෙන්න ඕනේ සාමාන්‍ය තරමේ පෙන්සන් එකක් ගන්න. නැත්නම් මටත් වෙන්නේ අර ආච්චිට වගේ මිසරි පෙන්සන් එකක් ගන්න. ඉතින් අපේ පරම්පරාවේ කවුරුත් ආණ්ඩුවේ පෙන්සන් එක ගන්න පුළුවන් වෙන තරමක නැති වෙයි. ඒක හින්දා අපි බොහොමයක් වෙනමමත් පෞද්ගලිකවම බැන්කුවලින් පෙන්සන් එකකට ගානක් ගෙවනවා. අඩු ගානේ ඒක හරි අන්තිමට ඉතුරුවෙයි කියලා හිතාගෙන ඉන්නේ. කොහොමත් අපිට වඩා ඇමරිකාව වගේ රටවල මේක තමයි වෙන්නේ.

      ඇත්තෙන්ම අර ආච්චි එක්ක සංසන්දණය කරලා මම මගේ යාළුවා එක්කත් කතා වුනේ මම නම් ජීවිතේ ඇති වෙනකම් විඳින්න ඕනේ කියලා. මේක ඉතින් අළුතෙන් වෙන්න දෙයක් නෑ. අනේ මට දුක් මහන්සි වෙලා සල්ලි හම්බ කරලා අරයාට මෙයාට ඉතිරි කරලා වැඩක් නෑ.  ඒ වගේ දේවල් බොහොමයක් හින්දා අදටත් මට අරක නෑ මේක නෑ කියලා දුකකුත් නෑ. අපේ ගෙදරින් මගේ යාළුවෝ මට හිනා වෙන්නේ ඔයා ඉතින් පිටරටක ඉන්නෙ ආශාවටනේ කියලා. අරයාට මෙයාට වගේ මට ලංකාවේ මාලිගා නෑ. ඒත් එහෙම කියලා මට දුකකුත් නෑ.
 
   දන්න කියන කාලේ ඉඳන් මම ආස කරන හැමදෙයක්ම මගේ කරගන්න මම දෙපාරක් හිතලාත් නෑ.  සමහරවිට ආශාවට මගේ කරගන්න බොහෝම දේවල් මට අත්‍යාවශ්‍ය දේවලුත් නෙමෙයි. සමහරවිට මම ඒවා පාවිච්චි කරන්නෙත් එකම පාරක් වෙන්නත් පුලුවන්. ඒත් මට දුකක් නෑ. අදටත්  කෝපි එකකටවත් මම නොගෙවා ඉන්නෙත් නෑ.    මනුස්සයෙක්ගේ දුකක් කරදරයක් වෙලාවකදි පිහිට වෙන්නත් පුළුවන්. කොටින්ම මට අනුව මම මාර නිදහස්.
 අපේ මල්ලිට මගෙ යාළුවන්ට අනුව නම් මට බ්‍රෑන්ඩ් අරවා මේවා එක්කයි ශොපින් පිස්සුවකුයි තියෙනවා. (බොරුමත් නෙමෙයි) ඒ මොනවා උනත් මට ඔය මම ගන්න ඕනේ එකක් මට එපා වුනාම කාට හරි දීලා නිදහස් වෙලා ඒ වෙනුවට අළුත් යමක් ගන්නත්  පුළුවන්.... මගේ පිස්සුව අස්සේ වුනත් මම මාර නිදහස්....

 ඇයි මේ ඔක්කොම? අර ආච්චි ළමයි හදලා බොහොම දුක් මහන්සියෙන් ජීවත් වෙලා අදටත් දරුවන්ගේ දරුවන් වෙනුවෙනුත් මුදල් හොයන්න ඕනේ. මට ඒ වගේ බැඳීම් දැක්කමත් බයක් විතරමයි හිතෙන්නේ. අනිත් එක මට මගේ දරුවන්ට වඩා  කොස්ට් වෙන අනුන්ගේ දරුවන් ඉන්නවා. ඒ අයගේ පුංචිම පුංචි ඉල්ලීම පවා දෙමාපියන්ටත් කලින් මටයි කියන්නේ. ඒ වුනාට වයසට ගියාම මට සලකයි අරවයි මේවයි කියලා බොන්ඩ් එකක් ඒක අස්සේ නෑ.
  
       ඉතින් කවදාහරි වයසට ගිහින් පෙන්සන් එක ගන්න පුලුවන් උනොත් ඒකෙන් ජීවත් වෙන්න මට පුළුවන් වෙයි. එතකන් මේ දැන්වගේ සුමානෙකට අඩුම තරමින් එක පාරක්වත් ෆයින් ඩයින් ගිහින්, පර්සනල් ට්‍රීට් අරන්, ඔය ඉඳලා හිටල සපත්තු, ඇඳුම්, හා එකී නොකී දාහක් දේවල් අරන්, සුමානෙකට ෆිල්ම් තුන හතරක් බලලා හැපී මූඩ් එකේ ඉන්න එක තමයි......නැත්නම් ආච්චිගේ පෙන්සන් එකයි මගේ ලංකාවට කතා කරන ෆෝන් බිල් එකයි විතරක්ම එක සමාන වුනා කියලා අන්තිමට දුකක් නොවී නොතියෙන එකක් නෑ.....

   දවස් ගෙවෙන්නේ මහ අමුතු හැඟීමක් එක්ක.



  වෙනදාට වඩා මේ දවස් වල මට මොකක්දෝ දෙයක් දැනෙමින් තියෙනවා.

 ඒක හරියටම මෙහෙමයි කියන්න මම දන්නේවත් තේරෙන්නේවත් නෑ.
           ඒත් මහා පාළු හැඟීමක්..........


   ( වෙනදා වගේ නෙමෙයි මේ දවස් වල මම නිතර ස්පෝර්ට්ස් කරන්න යනවා. මට එන බොහෝ ආවේග පාලනය කරගන්න ලේසිම විසඳුමත් ඒක. )

   හවසට දුවන්න ගෙදරින් එලියට බහින්නේම සිගරට් පැකට් එක සාක්කුවේ දාගෙන.

 මගේ යාළුවා මට හිනා වෙනවා. එයා මම වගේ නෙමෙයි දවසට සිගරට් පැකට් එකක විතර දුම් උරණ කෙනෙක්.   පෙනහළු දිග හැරිලා තියෙද්දි දුමක් ඉරුවම දැනෙන්නේ ලොකු සැනසීමක් වගේ එකක්....
    ( එහෙම නෙමෙයි වෙන්නැති. ඒත් එහෙම කියලා මම ඒක උපකල්පණය කරනවා.)

  පසුගිය දවසක මට එක පාරට අමුතු දේවල් වෙන්න ගත්තා. ඕනේ දෙයක් දරාගන්න පුළුවන් කියලා හිතාගෙන හැමදේටම මුහුන දෙන්න හැදුවට හැබහින් මට එහෙම කරන්න බෑ.
     බොහෝ වෙලාවට මම අනුන් වෙනුවෙන් ශක්තිය අරන් එයාල ඉස්සරහා මම දුක් වෙන්නේ නෑ කියලා පෙන්නලා අඬපු වෙලාවල් ඕනේ තරම් තියෙනවා. කොටින්ම අපේ පොඩි අක්කවයි අනිත් අයවයි මේ වෙච්ච කරදර අස්සේ නගා හිටුවමින් හිටපු මට එක පාරට hallucination  වෙන්න ගත්තා.  crash වෙන්න අමුතුවෙන් දෙයක් තිබ්බේ නෑ. හැමදේම තත්පර  කිහිපයක් අස්සේ වෙනස් වෙමින් තිබුනා........

    ඒක ඒ තරම් හොඳ දෙයක් වුනේ නෑ. බොහෝ වෙලාවට මගේ බැඳීම් මට දරාගන්න බෑ. ආදරය වගේ දේවල් අස්සේ කොහොමත් මම failure එකක්. එදා මට මම වෙනුවෙන් හිතන්න එකම එක chance එකක් තිබ්බා. ඇසිල්ලෙන් ගෙදර ආව මම ඇඳුම් මාරු කරන් පොත් කිහිපයකුත්, පිහියකුත්, සිගරට් පැකට් එකත් ඇපල් ගෙඩියකුත්, වතුර බෝතලෙකුත්,  energy drink එකකුත් දාගන බෑග් එක පිටේ එල්ලගෙන ගෙදරින් එලියට ආවේ ටිකක් ඔළුව නිදහස් වෙලා මිසක් ගෙදර එන්නේ නෑමයි කියල හිතාගෙන.

  මම අන්තිමට නතර වුනේ මගේ ගෙදර ඉඳන් කිලෝමීටර් දහයකින් විතර තියෙන ලොකු කැලෑවක. කොහොමද ආවේ කියන්න නම් මට මතක නෑ.  ඒත් මම ගියේ පයින්. කැලේ අස්සේ මනුස්සයෝ ජීවත්වෙන පාටක් නැති උනාම එතන නතර වෙන්න ඕනේ කියන හැඟීමක් ආවා.  එකින් එකට සිගරට් පත්තු උනා නිවුනා.  අන්තිමට මගේ බෑග් එක ඔළුවට තියාගෙන මම බිම ඇල වුනා. (එවේලේ මට මගේ බය සත්තු මතක් වුනෙ නෑ.) නින්ද යන්න නිදා ගත්තා නෙමෙයි. මම අරන් ගිහින් තිබුනෙත් පාඋලෝගේ Aleph.
 හරියට මගෙ එවෙලේ තිබ්බ මූඩ් එකට මැච් වෙනම spiritual  වචන අස්සේ මම ඉබේම ඇස් පියාගත්තා. පැයක් දෙකක් හෝ ඊටත් වඩා මම එහෙම ඉන්න ඇති.
     අවදිවෙනකොට මම බොහෝ දුරට නිදහස් වෙලා. ඒ වුනාට තවම අර මූසල හැඟීම ඈත් වෙලා තිබ්බෙ නෑ. ඒ ගමන් මම කලේ ඇවිදින්න පටන් ගන්න එක. එදා සමහරවිට මම ඇවිද්ද ටික මම අන්තිම අවුරුද්දේවත් ඇවිදලා නැතුව ඇති. හවස හත විතර වෙද්දි කළුවර වෙනකොට එලියේ ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. ගෙදර ඇවිත් නාගත්තමත් මට හිතුනේ තවදුරටත් මට මාව හොයාගන්න ඕනේ කියලා විතරමයි.
 ( මේ දවස් වල මගේ මෙහේ යාළුවෝ මම ගැන බොහොම හෙවිල්ලෙන් ඉන්නේ. එයාල දන්නවා ලංකාවේ මට තියෙන සම්බන්දකම් එක්ක මම කොයිතරම් සමීපද කියලා. කොටින්ම අපේ මළගෙදර ආරංචි උන දවසේ ඉඳන් මගේ යාළුවෝ මාරුවෙන් මාරුවට කෑම කන්න අරවට මේවට කිය කියා බලෙන්ම වගේ මාව එහෙ මෙහේ අරන් ගියා. දවසක්ම මගේ ෆෝන් එකට උත්තර නොදෙද්දි එයාලා බය වෙන එකත් සාධාරණයිනේ. )

  ටිකකින් ආයේ වෙන ඇඳුමක් දාගත්තු මම ගිහින් නතර වුනේ අපේ ගෙවල් වලට ටිකක් ළඟින් තියෙන ෆිල්ම් හෝල් එකක. එදා තමයි  Salmon fishing in the Yemen  මෙහෙ පෙන්වන්න පටන් ගත්තේ.  ෆිල්ම් එකත් මගේ එදා හිටපු මූඩ් එකත් එක්ක හරි හරියට මැච් වුනා.

     ( කවුද හිතන්නේ කාන්තාරේ සීතල මුහුදු වල ඉන්න මාළු අල්ලන්න පුළුවන් කියලා. ඒත් වචනයක් හරි බලාපොරොත්තුවත් විශ්වාසයත් එක්ක එහෙම දේවල් වෙන්න ඉඩ තියෙනවා කියලා මටත් හිතුනා)
  ෆිල්ම් එක ඉවර වෙද්දි බොහෝ සැහැල්ලුවක් තිබ්බා.  ගෙදර එමින් ගමන් කවදාවත් නැතිව අයිස්ක්‍රීම් එකකුත් කෑවා. ඒ තරම් දවසක් නොදැනිච්ච මට අදටත් නොදැනෙන මොකක්දෝ සැහැල්ලුවක් එක්ක මම නින්දට ගියා.
   
    බැරිවෙලාහරි මට එදා මාව හොයාගන්න ඕනේ කියලා නොහිතුනා නම් මේ මොහොත වෙද්දි මම මෙහෙම ඉන්න එකක් නෑ.
  


     

Happy Anniversary My loving boy..... ....!

ලිව්වේ Il mondo di una povera pazza 5.20.2012 ලේබල්: , , , , 8 කමෙන්ට්ස්

(මේ දවස් වල ඉන්න මූඩ් එක එක්ක කිසි දෙයක් පිළිවෙලකට කර ගන්න බෑ. )

 

 ඒත් අද වගේ දවසක ඔයා වෙනුවෙන් වචන කිහිපයක් ලියන්න ඕනේමයි.

     මම හිනා වෙලා ඉන්න වෙලාවට, මම අඬන වෙලාවට, මට තරහා ගිය වෙලාවට, මම මෝඩ වැඩ කරන වෙලාවට හා හැම වෙලාවකම මාත් එක්ක ඉන්න මගෙ මල්ලිගේ වෙඩින් ඇනිවසරි එක අද...!

    මම පොඩි කාලේ ඉඳන්ම මට මල්ලියෙක් හෙව්වා. ඒත් කවදාවත් අපෙ ගෙදරට මල්ලියෙක් ආවේ නෑ.   ඒ කියන්නේ ඔය මොනවා හරි කරලා මට හිතුනම ටොකු අනින්න, මට ඕනේ දේවල් ඒ විදියට කරව ගන්න වගේ වැඩ කරගන්න වගේ මට මල්ලියෙක් නැතුව මම හෙන පාළුවෙන් හිටියේ. මොකද අපේ ගෙදර ඔක්කොමලාට මම හැමදාම පෙනුනේ මම පොඩිම එකා එයාලට ඕනේ දේ තමයි මම කරන්න ඕනේ කියන අදහසින්. ඒ විතරක් නෙමෙයි මට ආදරේ කරන්න මල්ලියෙක්...... අර මම හිතුනාම කෙලවරක් නැතිව කිස් කරන්න, මගේ ආදරේ බෙදාගන්න, මාත් එක්ක එහෙ මෙහෙ යන්න හා එකී නොකී දාහක් දේ වෙනුවෙන් මල්ලියෙක්.....

   කාලෙකට පස්සේ දෙවියන් වහන්සේ මට මල්ලි කෙනෙක් ගෙනත් දුන්නා.
    හරියට කාලයක් තිස්සේ හොයපු මල්ලිම මට හම්බ උනා. එයාත් එක්ක පොඩි කාලේ සෙල්ලම් කරන්න බැරි උනාටත් හරියන්න මේ අලියෙක් වගෙ කාලේ අර මම පොඩි කාලේ ඉඳන් බලන් හිටපු හැමදේම තියෙන මල්ලියෙක්....

    ඔව් ඔයා මට දෙවියන්ගෙන් ලැබුන ලොකුම තෑග්ගක් මල්ලි.


    කොටින්ම ඔයා වගේ තෑගි මට දෙවියන්ගෙන් ලැබිලා නෑ. ලැබුනත් ඒ කිසිම දෙයක් ඔයා තරම් මට කවදාවත් වටිනාකමක් නෑ.....

     කවදාවත් වෙනස් නොවී එකම විදියට මට ආදරේ කරන ඔයා ගැන වචන වලින් කියන්න බැරි දේවල් මට තියෙනවා මල්ලි. මගේ හැම දේකදිම මට වඩා හොඳ තීරණ ගන්නෙත් ඔයා. ඒ තරම් ඔයා මම ගැන හිතනවා. කොටින්ම ඔයා නොහිටියා නම් මේ අද ඉන්න මම නෑ.......

  ඔයාගේ සතුට කියන්නේ මගේත් සතුට විතරමයි මල්ලි.

  ඔයාට සුභම ශුභ අනාගතයක්......
    

Endless pain

ලිව්වේ Il mondo di una povera pazza 5.16.2012 16 කමෙන්ට්ස්

 

     ඊයේ රෑ දෙකට විතර නිදාගන්න ගියේ මට නොතේරෙන මොකක්ද එකක් ඔළුවේ තිබිලා ඒක අස්සේ අවුලෙන් අවුලටත් ගිහින් අන්තිමට බ්ලොග් එකකුත් ලියලා.

 
      තුනට විතර මගෙ ෆෝන් එක රින් වෙනකොට නිදිමතේම අපෙ ගෙදර නම්බර් එක දැකල ආන්සර් කරත් වෙන මොකක්ද මඟුලක් කරලා කට් වුනා. ලොකුම හදිසියකට නෙමෙයි නම් ඔය වගේ වෙලාවට අපේ ගෙදරින් මට කෝල් කරන්නේ නෑ.  ආයෙත් පොඩ්ඩෙන් පොඩි අක්කා මට අරන් නංගි මොකද ඊයේ රෑ ඉඳන්   අයියයි මායි කෝල්ස් ගන්න හදනවා උත්තර නොදෙන්නේ කියලා ඇහුවමයි මට මතක් වුනේ ඇනෝනිමස් නම්බර්ස් වගයකින් මට කෝල් වගයක් ආවත් ඒවට මම උත්තර දුන්නේ නෑ නේද කියලා. අනික මගේ පෞද්ගලික ෆෝන් එකත් මේ දවස් වල ඕෆ් කරලා. ඒමිට දෙන්න වුනා එයාගේ ෆෝන් එක ඇසිස්ටන්ස් දාන්න මම භාරගනිපු හින්දා.

   නංගි...... නංගි කියලා අපේ පොඩි අක්කා කියද්දිම මට තේරුනා මොනා හරි ලොකු දෙයක් වෙලා කියලා.මොකද එයා ඉතින් එහෙම පටලගන්නේ මොනවා හරි ලොකු දෙයක් තියෙද්දි. නැතිව මම වගේ මොකක්හරි වෙච්ච ගමන් කෑගහන කෙනෙක් නෙමෙයි අපේ පොඩි අක්කා. එයා බොහොම ඉවසීමක් තියෙන කෙනෙක්.
     අන්තිමට නංගි බාප්පයි පුංචියි හරේන්ද්‍ර මල්ලියි ඇක්සිඩන්ට් වෙලා.  මල්ලි බාප්පාව බෙහෙත් ගන්න එක්කන් යනකොට. එයා කොන්ට්‍රෝල් කරගනිපු කඩහඬකින් කියද්දි මාව ඇඳේ බිමට වැටුනේ නැති උනාට කම්පණය එක්ක ලොකු කරන්ට් එකක් ගියා වගේ දැනුනා.  ඉතුරු ටික ඉතින් එයා නංගි ඔයාට මේ දේවල් කියන්නේ කොහොමද කියලා කල්පනා කරල කරලා අන්තිමට ඉතින් මොනවා වුනත් ඔයාට කියන්නම එපැයි ඒකයි මම මේ තරම් වෙලා  කල්පනා කලේ කියලා අපේ අක්කා ආපහු නිහඬ වුනා. මම පොඩි දේටත් කලබල වෙලා ටෙන්සන් වෙලා අන්තිමට ඒක ඉවර වෙන්නේ ලොකු ජරමරයකින් කියලා අපේ ගෙදර අය දන්නවා. අනික මම ලෙඩ වුනාම අනිත් අයට වැඩිය විස්තර නොකලාට පොඩි අක්කාට මම ඒ ගැන කතා කලා.
   ඊයේ වෙච්ච ඇක්සිඩන්ට් එකකින් මල්ලියි බාප්පයි පුංචියි එතනම මිය ගිහින්.
   
     අන්තිමකාලේ මල්ලිගේ සමහර දේවල් හින්දා ඒ ගෙදර ඔක්කොමලා ටිකක් අවුලෙන් හිටියේ. මම ගෙදර ආවම වුනත් පුංචිගේ කටේ තිබ්බේ අනේ ඔයාවත් කියලා බලන්නකෝ මෙහෙම නාස්ති වෙන්න ඕනේ ළමෙක්ද කියලා. පොඩි දෙයක් වුනත් අපේ අයියට කියලා මල්ලිට අවවාද කරන්න එයාලා පෙළඹුනා.  මමයි මල්ලියි දෙන්නා ඉතින් පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවෝ. කොටින්ම අපේ අල්ලපු ගෙදර ජීවත් වුන එයාලගෙයි අපෙයි කම්බි වැටවත් ගහන්න අපි ඉඩ දුන්නේ නෑ. මොකද අපි කටු කම්බි උඩින් පැනලා එහා මෙහා යන හින්දා... මට අවුරුදු තුනේදි හතරෙදි විතර ඉඳන් මම බොහෝ වෙලාවට කෑම කන්නෙත් එයා එක්ක. එක්කෝ එයා බත් එක උස්සන් අපේ ගෙදර. ඔය වගේ අපි අතර ලොකු බැඳීමක් තිබ්බා. අපි හැමදේම කලේ එකට. ඒ කාලේ මගේ වයසේම කෙනෙක් ගෙදර හිටියේ නැති හින්දා මගේ ප්ලේ මේට් වුනේ මල්ලි. ඒ විතරක් නෙමෙයි කාලයක් ගිහින් අපි ටික ටික ලොකු වෙලා අවුරුද්දෙන් අවුරුද්දට ගෙදර ආවත් මල්ලි වෙනදා වගේම මාව බලන්න ආවා. අපේ ගෙදර අයත් මම ලංකාවට එනවා කියපු ගමන්ම අන්න චූටි අක්කා එනවා කියලා එයාට කියන්න පුරුදු වෙලා හිටියා.  ඒ කාලේ එයා ලොකු වෙලා මට වඩා උස ගිහින් හිටියාට මගේ අර ඉස්සර හිටපු මල්ලිම වුනා.  පාරේ මැදදි උනත් මාව දක්ක ගමන් කට පුරා හිනාවේගෙන චූටි අක්කේ කියලා මඟේ ළඟට දුවගෙන ආවා. මම ගමෙ ඉන්නවා නම් එයාත් නිවාඩු දාලා ගෙදර ඇවිත් මාත් එක්ක හිටියා.
   එයාට ඒ කාලේ තිබ්බේ බයික් පිස්සුවක්. දවසින් දවසට බයික් මාරු කර අර කඳු පාරවල් වල හයියෙන් යනවා කියලා දැනගත්තම ඒකටත් මම බැන්නාම එයා හිනා වෙලා එහෙම නෑ චූටි අක්කේ ඔය අම්මලගේ බොරු බය කියලා හාවා වගේ කන්දෙක දික් කරලා හිනා වුනා. ඒමියි මායි ගමේ ඉන්න දවස්වලට එයා තමයි බොහෝ වෙලාවට අපි දෙන්නව එහෙ මෙහෙ එක්ක ගියේ. අපේම ඉඩම් මා නොදන්නවා වුනාට මල්ලි මේ චූටි අක්කේ මේකත් ඔයාලගේ කිය කිය පැත්තෙම රවුම් ගැහුවා, එක දවසක් අපේ වාහනේ වලක එරුනාම විනාඩියෙන් මිනිස්සු ඇවිත් උස්සලා තිබ්බේ ඔයා හිටපු හින්දම වෙන්න ඕනේ මල්ලි. කොටින්ම මට විතරක් නෙමෙයි ඔයා ඒමිටත් මට වගේම ආදරෙන් සැලකුවා. අපි පොඩි කාලේ කරපු දේවල් කිය කියා පැය ගණන් හිනා වුනා.  එයා ඕනෙම වෙලාවක ගත්තේ මගේ පැත්ත.
  මේ පාර මම ගෙදර ආව වෙලේ මල්ලිගේ පවුලේ ප්‍රශ්නයක් මොකක් හරි හින්දා  මහවලතැන්නේ නැන්දලාගේ ගෙදර ගිය වෙලේ ඒ ගැන කතා වෙනවා අහගෙන ඉඳලා මම අපෙ පොඩි අක්කටත් හොඳටම බැන්නා. අනිත් මිනිසුන්ගේ දේවල් අපිට මොකටද මල්ලි කරන්න ඇත්තෙ එයාට කැමති දේනේ ඔයාලට මොකක්ද ඒ ගැන කතා කරන්න තියෙන අයිතිය කියලා.  අපේ පොඩි අක්කට බැන්නට මට තරහා ගියේ නැන්දා එක්ක. පොඩි අක්කා ඉතින් මගෙයි මල්ලිගෙයි යාළුකම් දන්න හින්දා ඕනේ වෙලාවක මම එයාගේ පැත්තේ කියලා හිනාවෙලා අහක බලාගත්තා. අපේ පොඩි අක්ක පුදුම වෙනවා වෙන කෙනෙක් ගැන එහෙම මම ඔහොම කීව නම්.... 
   මල්ලි දන්න කියන දා ඉඳලාම මට පුදුම විදියට ආදරේ කලා. එයා ලොකු මහත් වුනා කියලා කවදාවත් මම ඉන්න තැනක සිගරට් එකක්වත් බිව්වේ නෑ. ඉස්සර ඒමිත් හිනා වෙනවා ඕකට. අපි දෙන්නා එකම වයසේ වගේ උනාට අපි අතර ලොකු බැඳීමක් යාළුකමක් තිබ්බා.  එයා කරපු දේවල් හින්දා හිටපු විදුහල්පතිවරයෙක් වෙච්ච බාප්පා අවුලෙන් ඉඳලා තියෙනවා. ඒක හින්දම එයා ලෙඩ වෙලත් හිටියාලු. ඒවා නම් මම දන්නේ ඉතින් අද තමයි. ඒ පුංචි නම් ඉතින් මල්ලි කියන ඕනේ දෙයක් ඕනේ වෙලාවක කරපු කෙනෙක්. ඒ වගේම අපිටත් එකම විදියට ආදරේ කලා. අපේ වත්තේ එයාලගේ වත්තේ ගස් පෙන්වලා ඇයි චූටි මැණිකෙට මතක නැද්ද ඔයාලා ඉස්සර මේ ගස් අයිති කරන් හිටි හැටි වගෙ කතා කියලා අපේ පොඩි කාලේ දේවල් මතක් කරනවා නිතරම.  වෙන එකක් තියා මල්ලි පොඩි කාලෙ ඉඳන්ම එයාලාට වෙන වෙන ගෙවල් වතු හදලා තිබ්බ ඒවයේ වුනත් මගේ කාමර මගේ ගස් වෙනම තිබ්බා. ඉස්සර පොඩි කාලේ වලි දාගෙන තරහා වෙලා ගියාට පැයක් යන්න ඉස්සෙල්ල චූටි අක්කේ කියලා එයා එන බව මම දන්නවා. මාත් එහෙමම තමයි.

  ඒත් ආපහු මම කවදාවත් එයාලව දකින එකක් නෑ. මළගෙදරට වුනත් යන්න පුළුවන් සෞඛ්‍යය තත්වයක මම නෑ. අඩු ගානේ මේ වෙලාවේ හරි ඔයා ළඟින් ඉන්නවත් මම වාසනවන්ත වෙලා නෑ.
 
     අපි දෙන්නා හොරෙන් පොල් කාල හිරකරගෙන මැරෙයි කියලයි මම මුලින් හිතුවේ. මතක් කරන්න කොයි තරම් දේවල් නම් මට තියෙනවද මල්ලි? ආයේ ගමේ ආවට කවදාවත් චූටි අක්කා කොයි වෙලේද ආවේ කියලා අහගෙන කොහෙ හිටියත් මාව හොයාගෙන හිනාවෙච්ච ගමන් ඉන්න ඔයා නම් නැති වෙයි මල්ලි. හරියට ගමෙන් මාව ඈත් කලා වගේ හිස්කමක් මට දැනටත් දැනෙනවා.
 
   අපේ අම්මා මිය ගිය පාරෙම ඔයාල මිය යන්නත් සමහරවිට සම්බන්දයක් තියෙන්න ඇති. මල්ලිටයි බාප්පටයි පුංචිටයි එයාලගේ අවසානේ දුකක් වෙන්න නැතිව මේ අපිට තරම්. ජීවත් වෙන අපි තමයි වැඩියෙන්ම විඳවන්නේ මේ දේවල් එක්කම.
       උදේ පාන්දර ඉඳන් මේව හිතලාම දැන් මාත් හොඳටෝම අවුල් වෙලා....
 
  
 


 ඇයි මම බ්ලොග් ලියන්නේ? 



    මට මම දන්න සිංහල ලියන්න පුළුවන් එකම තැන, මගේම කියලා මට මාව එක්ක කතා කරන්න පුළුවන් එකම තැන මේක හින්දා.

 

  ඇත්තටම මේක විතරක්ද මට දෙන්න පුළුවන් උත්තරය? 

    නෑ.  දන්න දා ඉඳන් මම ආදරේ කරන මිනිස්සු මට මුණගැහෙන මිනිස්සු එක්ක සමීප වෙන්න පුළුවන් ලේසිම ක්‍රමයත් මේක. ඒ කියන්නේ නිකම් අර මේ බ්ලොග් එක මම ලියන්නේ මම ගැන විතරමයි. මට මේක කවුරු කියවනවද?  කවුරුවත් කියවන්න ඕනේද? කවුරු කොමන්ට් කරනවද? මේකෙ හිට්ස් තියෙනවද? වගේ ප්‍රශ්න නෑ. කොටින්ම සැබෑ ජීවිතයේදි එලියට නොපෙන්වන බොහෝ දේවල් මම මගේ බ්ලොග් එකේ ලියනවා. හරියට මමයි මගෙ ගෙදර මිනිස්සුයි අතර තියෙන සම්බන්දේ වගේ. එහෙම නැත්නම් මමයි මගේ එක්ස්ගෙයි අතර සම්බන්දේ වගේ.  මම මගේ ගෙදර අයට කතා කරන්නෙත් බොහොම සැරෙන්. මම කාට සමාව දුන්නත් අපේ ගෙදර මිනිසුන්ගෙ පොඩි වරදකට වුනත් කෑගහල පොලොවේ අඩි හප්පලා ලෝඩ් වගේ ඉන්නේ.
      කොටින්ම අපේ ගෙදර අය මොනවා කලත් ඒකට මගේ රියැක්සන් කොහොම වෙයිද කියලා නිතර හිතනවා කියලා මම දන්නවා.  ඒ හැම වෙලේම මගෙන් බැනුම් අහන්න වෙයි කියලාම නෙමෙයි. එයාලාගෙයි මගෙයි, අතර අපි ජීවත් වෙච්ච අපේ ළමාකාලය, වර්තමානය ගෙවුනු විදිහ අනුව බොහෝ වෙනස්කම් තියෙන හින්දා ඉබේම වෙච්ච දෙයක්. ඒක නිකම් හරියට එකම අම්මගෙන් ඉපදුනාට එයාල එක්ක ඉන්දෙදි මම නිකම් පිට කෙනෙක්ගේ දරුවෙක් වගේ.... ඒ කියන්නේ අපි ඈතයි කියන එක නම් නෙමෙයි. ඒත් පොඩිම කාලේ ලංකාවෙන් ඈත් වෙච්ච මම එයාලට වඩා ගොඩාක් වෙනස්. සමහරවිට ඒක හින්දම වෙන්න ඕනේ මම ඒ අයට මේ තරම් ළඟ. කොටින්ම අපේ අක්කගේ පුතා වයස දහනමයක් වෙලාත් මාත් එක්ක කතා කරන්නේ තාම ගෝඩ් එක්ක කතා කරනවා වගේ.  අපේ අක්කාගෙන් එයා අනන්තවත් බැනුම් අහන්නේ ඔයයි ඔයාගේ පුංචියි දෙන්නම එකයි. මම දෙන්නවම අල්ලගන්නම්කෝ කියලාලු. 
 
     ඒමි උනත් ඒ වගේමයි. එයා මාත් එක්ක වචන දාහක් කතා කලොත් ඒ වචන දාහම අපේ භාශාවෙන් හින්දා එයා කවදාවත් මම සිංහල බ්ලොග් එකක් ලියනවා කියලා හිතන්නේ නෑ. ලියනවා කියලා දන්නවා. මේක කියවනවා. ඒත් ඒ අස්සේ ඉන්නේ මමම කියලා ඔහු හැබෑවටම විශ්වාස කරන්නේ නෑ. මොකද මම අන්තිම කාලේ බොහෝ වෙනස් වෙලා නිසා. කොටින් ඔහු ඉස්සරහා ඉන්න මමයි මේ බ්ලොග් එකේ ඉන්න මමයි අතර ලොකු වෙනසක් තියෙන නිසා. ඉතින් අපි බොහෝ වෙලාවට හිතන්නේ අපිට පෙන්වන මුහුනම තමයි සැබෑ මුහුන කියලානේ. ඉතින් ඒමි තියා දෙවියන්වහන්සේවත් අනෙකාව අඳුනගන්නේ කොහොමද? 
  
    මම හැබෑවට මුහුන දෙන ලෝකේ ලංකාවේ අය බොහොම අඩුයි. ඒ කියන්නේ මෙහේ ලංකාවේ මිනිස්සු නෑ කියන එක නෙමෙයි. අපොයි පාරේ බස් එකකට නැග්ගොත් ෆෝන් එකෙන් සිංහල කතා කර කර යන හතර පස් දෙනෙක්වත් හමුවෙනවා. මම  කවදාවත් ඒ අයට කතා කරන්නේ නම් නෑ. මාව දන්න කියන කෙනෙක් වුනොත් පොඩි හිනාවක් දාල මගේ පාඩුවේ මගේ ගමන යන එක තමයි මම කරන්නේ. ඒත් මම කරන රස්සාව හින්ද ගොඩාක් වෙලාවට මිනිස්සු මාත් එක්ක කතා කරලා යනවා. ඒ හැමෝගෙම ප්‍රශ්න මට කියන්නත් ඒ අය පුරුදු වෙලා.  ඒත් ඉතින් මේක වෙලාවකට මට මහ කරදරයක් වෙනවා. කොටින්ම මම අකැමතිම දේ තමයි මිනිස්සු ගොඩාක් අස්සේ සිංහලෙන් කතා කරන එක. අනික ඉතින් මට ඔය වගේ අය එක්ක කතා කරන්න කොමන් ටොපික් නෑ. ඉතින් වචන කිහිපයයි.ඒවත් හරිම කෘතිම ඒවා. 
      
        ඒ වුනාට මගේ ක්ලයන් කෙනෙක් වෙනුවෙන් වෙලාවක් වෙන් කරලා හමු උනාම මම ඒ අය එක්ක සිංහලෙන් කතා කරනවා. සමහරවිට ඒ අයගේ ප්‍රශ්නවලට විසදුම් හොයන්න මම මට හැකියාවටත් වඩා වෙහෙසෙනවා. කොටින්ම ගෙදර ආවමත් සමහර දවසට මගේ ඔළුවේ තියෙන්නේ ඒ අයගේ ප්‍රශ්න. ඒත් ඒ අයයි මමයි කවදාවත් යාළුවෝ වෙලා නෑ. අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ  මේ බ්ලොග් එකේ මාව දන්න ඕනෙ කෙනෙක් දන්නවා මම සිංහල, ගමේ, කෑම,  පලතුරු කන්න කොයිතරම් ආසද කියලා. මගේ ක්ලයන්ලා සුමානෙකට දෙකකට පාරක් ලංකාවෙන් මෙහෙට එනවා. එහෙම නැත්නම් ලංකාවේ කෑම මෙහෙ හදනවා. (ඒත් අදටත් මම මෙහේ කෑම කාලා තියෙන්නේ දෙන්නෙකුගෙන් විතරයි. ඒමිගේ අම්මලගේ ගෙදර ඉතින් මගේ වගේ හින්දා ඒ  කෑම කනවා. අදටත් ඒමිගේ නංගි ලංකාවේ කෑමක් හදපු ගමන් මම එයි කියලා වෙනම අරන් තියෙන පුරුද්දක් තියෙනවා.)  සමහර අය ඔයාට මොනවද ඕනේ අනේ වෙලාවක අපේ ගෙදර කෑමකට එන්න වගේ කීවට මම  යන්නෙ නෑ. ( එකක් ඉතින් මිරිස්කාලා තරු බලලා ඇඟම රතු පාට වෙලා ඉඳිමිලා හොස්පිටල් යන්න අකැමතිවීම.) සමහරවිට මට කෑමක් බීමක් කියන්නේ ආශාවට වඩා දෙයක් වීම. කොටින්ම දිව්‍ය භෝජනයක් වුනත් දුකකින් තොරව රිෆියුස් කරන්න මට පුළුවන්.  
   
      මේ කතාව කිව්වේ ඉතින් බොහෝ අය කියන විදියට මම පට්ට අහංකාර හින්දා නෙමේ. මට කවදාවත් එහෙම සමීපවෙන්න පුළුවන් කියලා හිතිලා නැති හින්දා. කොටින්ම මෙහේ ඉන්න ලංකාවේ අය එක්ක මට තියෙන්නේ මනුස්ස සම්බන්දයක් නෙමෙයිද කොහෙද. සමහරවිට ඒ අයයි මායි අතර බොහෝ වෙනස්කම් තියෙන හින්දා වෙන්න ඕනේ. ඒත් මගේ මෙහේ යාළුවෝ. උන් එක්ක ඉන්නකොට මම කියවන්නේ නිකම් අවුරුද්දටම කතා කලේ නෑ වගේ.  කන්න බොන්න ගියාම ඕනේ ජරාවක් කයි. සිගරට් එකක් හවුලේ බෙදාගෙන නොබීවට කන බොන කෑමක් බීමක් අගේට බෙදාගෙන කයි. කොටින්ම ක්ලබ් එකකට තනියම ගියා වුනත් ලේසියෙන්ම කාට හරි ෆ්ලග් වෙලා කතා කර කර ඉන්න මට පුළුවන්.  මේක මෙහේ අය එක්ක මෙහෙම වුනාට මෙහේ ඉන්න ලංකාවේ අය එක්ක වෙන්නේ නෑ කවදාවත්. 


     හරි පුදුමයි නේද?
   
   එහෙම වුනාට ඔය මගේ ඔන්ලයින් ජීවිතේ සෙට් වෙච්ච මගේ යාළුවෝ ඉන්නවා නේද? මතක විදියට බ්‍රේක් අප් එකක් වෙලා 2003 තමයි මගේ මුල්ම සයිබර් ආගමනය වෙන්නේ. ක්ලබ් එල්කේ එකෙනුයි සින්හලයා එකෙනුයි තමයි මම මුලින්ම සිංහල හෝ ශ්‍රී ලාංකික කියන අයිඩින්ටිටි එකකට සෙට් වෙන්නේ.  ඒ දවස් වල  චැට් සංස්කෘතිය තමයි ෆේමස්ම. අනිත් අය එක්ක කතා කරනවට වඩා ඒ අය කතා කරන්නේ මොනවද කියලා බලාගෙන ඉන්න එක තමයි මම ඒ කාලේ වැඩියෙන්ම කලේ. ඒ මට කතා කරන්න තරම් දැනුමක් නැතිවීම මිසක් මට කියවන්න බැරි කෙනෙක් හින්දා හෙම නෙමෙයි. ඒත් ඒ කාලේ තමයි මගේ සයිබර් ජීවිතේ සුන්දරම කාලේ. අදට වඩා බොහෝ මානුශික සම්බන්දකම් ඒ කාලේ ඉන්ටනෙට් එක අස්සේ හමු උනා. ( කොටින්ම අදටත් ඒ කාලේ මම හඳුනාගනිපු බොහෝ අය මම ලංකාවට ආවා කියලා දැනගත්තම කෝල් එකක් දීලා කොයි තරම් බිසි වුනත් කොහොමද අහන්න තරම් හරි, වෙලාවක් ලැබුන ගමන් මාව හමුවෙන්න හරි උත්සාහ ගන්නවා. ඒ කාලේ අදට වඩා නෙට් එකේ  හොඳ ස්ප්‍රිට් එකක්  තිබ්බා කියලා මට හිතෙනවා. )

   ඇත්තෙන්ම ඔන්න ඔය වාගේ කාලෙක එක්තරා කෙනෙක් මම ගැන අනුකම්පා කරලා මට සිංහල කියාදුන්නා. ඔය කියාදීම කොයි තරම්ද කියනවා නම් අන්තිමට එයා කීවේ ඔයාට සිංහල කියා දීලා මම ලොකු වරදක් කලේ කියලා. එයා ලියන්න කියන්න බොහොම දක්ශ කෙනෙක්.  එයාවත් විශ්වාස කරනවද මන්දා තාමත් එයා 2004 විතර  ලීව්ව කවියක ප්‍රින්ට් අවුට් එකක් මගේ වොලට් එකේ තියෙනවා. 

 මේ තියෙන්නේ .


     ( ආ මේ සයිඩ් එකෙන් ඉන්නෙ අර බුරු බබාගේ අහංකාරම පාට් හැබෑවටම තියෙන කාලේ. අර පොලොවෙන් අඩි පහක් හයක් විතර උඩින් යනකාලේ. මීට අවුරුදු විස්සකට කලින් ඒ හිටියේ මේ මමමද කියලා..... හිතාගන්නත් බෑ.......! )

   
  මම බ්ලොග් ලියන්නේ ණයට ඉල්ලගත්ත එහෙන් මෙහෙන් අහුලගනිපු සිංහල වලින්.එදා ඉඳන් අර මට සිංහල කියාදීපු කෙනාගේ සටහනෙන් සටහනට කියවන්න ගිය මම ෆෝරම් අස්සේ, බ්ලොග් අස්සේ හා නෙට් එකේ තියෙන මට තේරෙන බොහෝ දේවල් කියවන්න පටන් ගත්තා. ඊට පස්සේ මට ලියන්නෝ බොහොමයක් හමු උනා. සූ, සංජි , පෙපේට් වගේම මලීත් මගේ සිංහල කියවීම අස්සේ මගේ ජීවිතෙට බොහොම ළඟ අය. වචනයක් බ්ලොක්වෙච්ච ගමන් මොන රෑක වුනත් මගේ මොබයිල් බිල් එක අහසේ තරු ගානට වැඩි උනත් එහා පැත්තේ ඉන්න එවුන්ට ඇණයක් වෙන කරදරයක් වුනත් ඔය ඉහත කියපු අයට මම අනන්තවත් කරදර කරලා ඇති. ඔයිට අමතරව මට සිංහල සහයෝහය දීපු බොහෝ අය ඉන්නවා. හැමකෙනාම මෙතනට ඕනේ නෑ. සමහරවිට ඒ අය මා එක්ක හොඳටම තරහත් ඇති.
  ඒකට කරගන්න දෙයක් නෑ. එහෙම නොවුනා නම් මේ වෙනකොටත් මගේ සිංහල විතරක් නෙවි මනුස්සයෙක් විදියටත් මම බොහොම වෙනස් කෙනෙක් වෙන්න තිබ්බා.
  
   ඇත්තටම කියවීම හරහා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඔය මම 'අඩෝ ලියපන් කියලා' කෑගහලා තග් පාට් එකක් දාලා එන්නේ මේ ලිවීම් සටහන් අස්සේ මට මාවත් කොහෙන් හරි හමුවෙන හින්දා වෙන්න ඕනේ. මම කියවන මම ආස කරන හැම බ්ලොග්කරුවෙකුටම/කාරියකටම මේ තර්ජනය මගෙන් එල්ල වෙනවා. උනුත් මගෙන් බැනුම් අහන්නමද කොහෙද ආත්මෙකට එකක්වත් බ්ලොග් ලියන්නේ නෑ. ඒ වුනාට මේක වෙන්නේ මගේ අස්සේ තියෙන ලොකු හිතවත්කමක් එක්ක. ඔය මම ආස කරන මම කියවන මම කොමන්ට් කරන බොහෝ බ්ලොග්කරුවන් එක්ක මට පෞද්ගලික සම්බන්දතා තියෙනවා.  ඒ මේ වයර් අස්සේ හමුවෙලා. මම ලංකාවේ ඉන්නවා නම් මම කොයි වෙලේ ගෙදරට කඩා වැටෙයිද කියලා නොදන්න එහෙම වෙයි කියලා භයේ ඉන්න බොහෝ අය ඉන්නවා. ඔක්කොටම වඩා උන්ගේ ගෙදර වලංවල තියෙන කෑම ටික මම කාල උන්ට කඩෙන් කන්න අරන් යන එක වගේ දේවල් හින්දා ඔය සමහර එවුන් මාත් එක්ක තරහයි. 
  ඒ විතරක් නෙමෙයි උන්ගේ ගෙවල් වල ඉන්න අම්මලා මට සුදු ළුනු එක්කත් බත් කවලා තියෙනවා. මම තාමත් කල්පනා කරන්නේ මම ඒවත් කාල වමනේ නොදා පෙරේතකමට කොහොමද හිටියේ කියලා. මේ ඔක්කොම කියන්නෙ මේ සම්බන්ධතා හරිම සාමාන්‍යයි කියන්න. අර මූනට හමුවෙලා කතා කරන එවුන් එක්ක කනෙක්ට් වෙන්න බැරි උනාට ආත්මෙකටවත් නොදකින මේ වයර් අස්සේ හමුවෙන එවුන් මට අන්තිමට අපේ ගෙදර අයටත් වඩා ළඟයි. ඒ උනාට මේ දෙගොල්ලම ලංකාවේ අය. මොන හේතුවක් හින්දද මන්දා මට මේ ලියන එවුන් විතරයි මගේ යාළුවෝ වෙන්නේ. එහෙම නැත්නම් ප්ලග් වෙන්නේ.

  

 මම බ්ලොග් ලියන්නේ සමහරවිට මාව විතරක්ම කියවගන්න වෙන්න ඕනේ....... එහෙම නැත්නම් මට එලියට මාව පෙන්වන්න පුළුවන් හරිම විදියක් මේකම හින්දා වෙන්න ඕනේ....
    
      
  
      

හැමදේම අන්තිමට දුකක්....

ලිව්වේ Il mondo di una povera pazza 5.13.2012 8 කමෙන්ට්ස්

 මේ දවස් වල මම හිටියේ බොහොම සැහැල්ලුවෙන්.


                                                   ( ජීවිතේත් මේ වගේ.......)




      අන්තිම කාලේ ලෙඩ වුනාම ජීවිතේ ගැන බොහෝ දේවල් අලුතෙන් හිතන්න වුනා.

       ඒ අස්සේ මගේ සතුට වෙනුවෙන් උපරිමයෙන් හිතන්න, සතුටුවෙන දේවල්ම විතරක් කරන්න, මම ආදරේ කරන මිනිසුන් වෙනුවෙන් හිතන්න වගේ බොහෝ දේවල් තියෙනවා.

      ඒත් මට මුලින්ම හෘදයාබාදයක අවධානමක් තියෙනවා කියලා දැනගත්තම මම බොහෝම නිදහසේ ඒ ගැන හිතන්න ගත්තා.


    කොටින්ම කාලයක් තිස්සේ මට මාව අමතක වෙලා හිටියේ. ඉස්සර වගේ එකින් එකට ආස හිතෙන හැම ෆිල්ම් එකක්ම බලන්න, යාළුවොත් එක්ක රවුම් ගහන්න, අලියෙක් වගේ වුනාට තාමත් පොඩි එකා වගේ අපේ ගෙදර මිනිස්සු ළඟ මගේ යාළුවෝ ළඟ ගිහින් හුරතල් වෙන්න, කෙලවරක් නැති ගමන් බිමන් යන්න, අර ඉස්සරෝම කාලේ වගේ ආස කරන හැම රෙස්ටොරන්ට් එකෙන්ම කන්න, වයින් බොන්න විතරක් නෙමෙයි තව මම බොහෝ කාලයකින් නොකල බොහෝ දේවල් ආපහු කරන්න ඕනේ කියලා මම මමත් එක්කම ගිවිසගත්තා.

    කොටින්ම අසනීප වෙලා ගෙදර ආව ගමන් මම ගියේ මගේ ලයිෆ් ඉන්සුවරන්ස් එක වෙනස් කරන්න. ඒ විතරක් නෙමෙයි මටත් වඩා ඉක්මනට මම මරණය එක්ක යාළු උනා. කොයි වෙලේ යන්න වුනත් හිත හදා ගත්තා. සමහරවිට මම ඒ දේවල් කියවද්දි මගෙ යාළුවෝ මට හිනා උනා. ඒත් මාව හොඳටම දන්න මගේ හැම යාළුවෙක්ම වෙනදට වඩා මට බොහෝම ලං උනා.  බොහෝ අය උඩින් පේන මගේ හිනාවට යටින් තියෙන මඟේ කඳුළ බෙදාගන්න බොහෝ මහන්සි වුනා. මගේ යාළුවෝ මට වඩා මගේ ප්‍රශ්න ගැන හිතන්න ගත්තා. ඒ අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ මම එහෙම හැසිරෙන්නේ ඇයි කියන එක වෙන්න ඕනේ.

 ඒත් ඒ හැමෝම මට මගේ ජීවිතය අස්සේ තියෙන වටිනාම බොන්ඩ් රිෆ්‍රෙශ් කලා.

    ඉඳලා හිටලා යාළුවෝ එක්ක ගිහින් කාලා බීලා මට අමතක වෙන තැනට ආවම ඒමි එක්ක ඔහේ ෆෝන් එකෙන් පැය ගණන් කියෙව්වා. කතා කරන මගේ ටෝන් එක අනුව ඒමිත් හිනා වෙලා ඉස්සර දවසුයි අද දවසයි අතර සන්සංදනය කලා. කොටින්ම කිලෝ මීටර් තුන්සිය ගාණක දුරකින් ඉන්න ඔහු නිතර නිතර මාව බලන්න ආවා. ඒ බොහෝ වෙලාවට අපි අර ඉස්සරෝම වගේ අපේ ප්‍රජෙක්ට්ස්, ජීවිතේ ගැන බොහෝ දේවල් කියෙව්වා. අපි දෙන්නාගේ වර්තමාන සහකරුවන් ගැන බොහොම නිදහස්ව කාලෙකට පස්සේ කියෙව්වා.
  ඒ දේවල් මට ලොකු සැනසීමක් ගෙනාව කියලා මම දන්නවා. කොටින්ම ආපහු මම ජීවත් වෙන්න ගත්තා.

    කොටින්ම අන්තිම මාස දෙක තුන අතර මම මගේ කරගත්ත දේවල් බැලුවම මම ශොපින්මැනියක් වගේ වුනා. එක පාරක් මගේ කරගන්න හිතුන දෙයක් තත්පරෙන් මගේ කරගත්තා.  ඒක අපේ මල්ලිට කියන්න මගෙ යාළුවන්ට කියලා උන්ගේ බැනුම් අහන්න වෙයි කියලා මතක් වුනේ ගෙදර ආවම විතරයි. මේ කිසිම දෙයක් මට අත්‍යාවශ්‍ය දේවල් වුනේ නෑ. කොටින්ම මේ හැම දෙයකටම සමාන දේවල් මගේ ගාව තිබුනා.

  වෙනදා රස්සාව අස්සේ ඕනෙම කට්ටක් කන්න පුරුදු වෙලා හිටි මම බොහෝම උදාසීන කෙනෙක් වුනා. ගෙදරට වෙලා නිදාගත්තා. සල්ලි හොයන්න තියෙන උවමනාවට වඩා ජීවත් වෙන්න සල්ලි හොයන්න ගත්තා. බොහෝ වෙලාවට ක්ලයන්ට්ස්ලා කතා කලාම මේ දවස් වල වැඩ කරන්න බෑ කියලා ගෙදරට වෙලා නිදාගත්තා. වෙනදාට මාසෙකට සැරයක් මාස දෙකකට සැරයක් කොන්ඩේ කපන මම සුමාන තුනෙන් කොන්ඩේ කපන්න පටන් ගත්තා. වෙනදාට මාස දෙකකට විතරක් බියුටි සැලෝන් යන මම සුමානයක් ගානේ අර තෙරපියි මේ තෙරපියි කිය කියා එක එක මගුල් කරන්න ගත්තා.
 
      කොටින්ම මම ජීවත් වෙනවා, ඒක වචනයෙන්ම ඒ විදිහටම වෙන්න ඕනේ කියලා දැනෙන්නම කරන්න වෙන්න ඇති  මගේ උත්සාහය වුනේ.

   ඒත් ආපහු අද උදේ ඉඳන් මම නිකම් නිකම් ගෙම්බෙක් වෙලා. සමහරවිට අර තරම් සැහල්ලුවෙන් ප්‍රානවත්ව හිටපු මම ආපහු මැලවිලා වගේ.  අපිට අපේ මරණය සහනයක් ගෙනාවට, අපේ සහෞදයෙක්ගේ වෙන්ව යාම මොන තරම් නම් අපිව සසල කරන්න පුළුවන්ද කියලා මට අද මේ තරමට දැනෙන්නේ ඔබාගේ මළගම එක්ක වෙන්න ඕනේ.
 
      අද උදේ පාන්දර ඊයේ රෑ බීපුවයේ තරමටම ඔළුව කැරකුනාට වඩා තදට මාව අඩපණ කලේ අඩ නින්දෙන්ම ඇඳේ ඉඳන් ෆේස්බූක් එකට රිංගුවාම වෙනීගේ ස්ටේටස් එකක් දැකලායි. තාමත් ඒ විදිහටම කිසිම දෙයක් කරගන්න බැරිව ඔහේ ඉන්නේත් මේ කවදාවත් නොදුටු, ඔන්ලයින් විතරක් මුණගැහුණු මිනිසාගේ මරණය එක්කයි. මේ තරම්ම මම සසල වෙන කෙනෙක් කියලා මට තේරුනෙත් අද. යකඩ ගැහැණියක් මට ඕනෙම දෙයක් දරාගන්න පුළුවන් කියලා මහ ලොකුවට කියෙව්වට මම නිකම්ම නිකම් ගෙම්බෙක් විතරමයි.  ඒක මට ආපහු ආපහුත් මතක් කලේ හිතවතකුගේ වෙන්වීමමයි.
 
 කවදාවත් කාටවත් නිවන් යන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නෑ මම. මොකද මම එහෙම එකක් විශ්වාස නොකරන නිසා.  අර තරම් සතුට හොයාගන්න ට්‍රයි කරපු මට මොන මගුල කලත් හැමදේම අන්තිමට  දුකක් කියලා විතරමයි වැටහුනේ........